iranama
මේෂ ලග්නය හිමි ඔබට 2016 නව වසරේ ලග්න පලාපල
වසරක ආරම්භය
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 වූද ශක වර්ෂ 1938 හෙවත් කලියුග වර්ෂ 5117 හෙවත් ව්‍යවහාරික වර්ෂ හෙවත් ක්‍රි.ව. 2016 ක්වූ ජනවාරි මස 01 වැනි දින රාශි වළල්ලේ මූලික වූ නව ග්‍රහ ගෝචරය අනුව ලග්න දොළසෙන් මුල්ම ලග්නය වන මේෂ ලග්නයේ ලග්න පලාපල මෙසේ දිගහැරෙන වගයි`
නව වසරේ මේෂ
ලග්නයේ ග්‍රහ පිහිටීම
2016 වසර ආරම්භයත් සමඟ ඔබගේ මේෂ ලග්න ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම පහත පරිදි වෙයි. ලග්නාධිපති කුජ හෙවත් අඟහරු ලග්නයෙන් 07 වැන්නේ හෙවත් විවාහ ස්ථානයේ වන අතර රවි හෙවත් සූර්යයා 9 වැන්නේ හෙවත් පුණ්යස්ථානයේත් සඳු රාහු සමඟ 6 වැන්න හෙවත් රෝගස්ථානයේත් බුධ 10 වැන්න හෙවත් රැකියා ස්ථානයේත්, ගුරු 5 වැන්න හෙවත් පූර්ව පුණ්යස්ථානයේත් ශනි හෙවත් සෙනසුරු හා ශුක්‍ර හෙවත් සිකුරු ලග්නයේ 8 වැන්නේත් කේතු වැයස්ථානය හෙවත් 12 වැන්නේත් ගෝචර ගමනක යෙදෙන අවස්ථාවක මෙම නව වසර උදාවනු ඇත. මෙම නව වසර මේෂ ලග්නය හිමි ඔබට සියලුම අංශයන්ගෙන් මධ්‍යම ප්‍රතිඵල උදාකරනු ඇත. සුබ අසුබ සමව උදාවන්නා වූ වසරකි.
මේෂ ලග්නය හිමි
අයගේ සාමාන්‍ය
රූප ස්වභාව
මධ්‍යම ප්‍රමාණ ශරීර වෙයි. කදිම දික්වූ ඛෙල්ලක් හා පොකුරු කෙස් හා රැවුල් ද ඇස් බැම ද වෙයි. යහපත් අඟපසඟ වෙයි. ගමන් කිරීමේදී ස්වල්පයක් නැවී යයි. කඩිසරයි. පිත් අධිකයි.
මේෂ ලග්නය හිමි අයගේ ගති ගුණ
කුජ හිමි සටන්කාමී උෂ්ණ රාශියක් වූ බැවින් මේෂයෙහි උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්ත වෙයි. වුවමනා දේ වුවමනා වෙලාවට වුවමනා කරන කෙනෙකි. කෙසේ හෝ ලබා ගනියි. තමන්ගේ පෞද්ගලික ආශා සැප පහසුකම් අනුන් වෙනුවෙන් කැපකිරීමට සතුටු නොවේ. තමාට වුවමනා කරන දේ තමාට ඕනෑ වෙයි. කීර්ති ප්‍රශංසා ලැබීමට ඇති කැමැත්තත් පෙරමුණෙහි සිටීමට ඇති ආශාවත් ඉදිරියට යන ගතියත් නිසා ජය හෝ ප්‍රසිද්ධිය ලබයි. ක්‍රියාවෙහි සූරයි.
එසේම කඩිසරයි. පුරුෂයකු නම් තමාගේ භාර්යාවට හෝ ස්ත්‍රියකු නම් තමාගේ ස්වාමියාට හෝ හැර වෙන කිසි කෙනකුට යටත් පහත් වීමට කැමැති නැත. සහකාරියට සහකාරයට ඉතා භක්තිවන්ත වෙයි. දිනන ලද ඉඳුරන් ඇති කෙලෙහිගුණ සලකන කෙනකු වෙයි. බඩගිනි ඉසිලිය නොහැකියි. නිතර ටික ටික කෑම ඕනෑ කරයි. නිතර ආඩම්බර ගතියෙන් සිටියි. මේෂ ලග්නයෙහි උපන් අය වාද විවාදවලට වඩා යෝග්‍ය නැත. විවාදයේදී තමාට ජයගන්න බැරි වූ විට රණ්ඩුවක් මතු කරගෙන එයින්වත් ජයගන්න සිතයි. එහෙත් වහා අවබෝධ වන තීක්ෂණ නුවණක් තිබේ.
සටනට නොපැකිළෙයි. කිසි බයක් නැත. සුළු සුළු දේවලට කැමැති නැත. විශාල ව්‍යාපාර කටයුතුවලට යෝග්‍යයි. උසස් සිතිවිලි වෙයි. හදිසියේ කරුණු වෙනස් කරයි. එහෙත් යමක් ස්ථිරව කරගෙන යෑමට සිතාගත්තොත් එසේම කරයි. ලෝකයේ ශ්‍රේෂ්ඨ වීරයෝ මේෂ ලග්නයේ ඉපදී සිටිත්. රාශි චක්‍රය පටන් ගන්නේ මේෂයෙන් බැවින් මෙය බලවත්ම රාශිය වෙයි. එහෙත් තුලාවේ තරම් නැත. දුර්වලකම් හැටියට පෙනෙන්නේ නොඉවසිලි ගතිය හා සමාදානයට එතරම් ගරු නොකරන ගතියකි. සුළු දේ කිරීමට කැමැති නැත.
මේෂ ලග්න හිමි අයගේ රෝග
උෂ්ණ දැවිලි රෝග, මොළේ අසනීප, බඩේ කැක්කුම්, හදිසි ක්ලාන්ත වීම්, නින්ද නොයෑමේ රෝග, හිටි හැටියේ සිහි නැතිවීම ලෙහෙසියෙන් සෑදෙන රෝගයෝ වෙති. මේෂයෙන් උපන් අයට පැලඳීමට යෝග්‍ය දියමන්ති හා සුදු නිල් වෙයි.
2016 වසර මේෂ ලග්න ග්‍රහ චාරය
අනුව ඔබට මෙසේ බලපානු ඇත
මේෂ ලග්නයෙන් උපන් ජන්ම පත්‍රයේ නව වසර ආරම්භයත් සමඟ පවතින ග්‍රහ චාරයට අනුව ලග්නාධිපති හා 8 අධිපති අඟහරු හෙවත් කුජ, ඔබගේ ලග්නයෙන් 7 වැන්න හෙවත් විවාහ ස්ථානය වන තුලා රාශියේ ගමන් කරන අතර 1/8 අධිපති විවාහ ස්ථානයේ ගමන් කිරීම මත ඔබට වසර ආරම්භය විවාහ කටයුතු සම්බන්ධයෙන් එතරම් සුබදායක නොවනු ඇත.
මෙම 2016 වසර පුරාවටත් මේෂ ලග්න ඔබට පසුගිය වසර එකහමාර තුළ පැවැති සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා ලග්නයෙන් 8 වැන්නේ ගමන් කිරීමෙන් ඇතිවූ ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපල තත්ත්වයට මුහුණදීමට සිදුවනු ඇත. මේ වසර එම ඒරාෂ්ටකයේ අවසන් වසරයි. එළැඹෙන 2016 ජූලි මාසය දක්වා ගුරු හෙවත් බ්‍රහස්පති ඔබගේ ලග්නයෙන් 5 වැන්නේ බලවත්ව ගමන් කිරීම ඔබට මෙම වසර ආරම්භයත් සමඟ යම් පමණක සුබදායක තත්ත්වයකි.
විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත අයටත් දරුපල බලාපොරොත්තු වන අයටත් වසරේ මුල් මාස 06 තුළ ඉතාමත් යහපත් ප්‍රතිඵල උදාවනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ඔබටත් සුබදායක බලාපොරොත්තු තබාගත හැකි වසරකි. නව වසරේ රැකියා බලාපොරොත්තු වන ඔබගේ එම කටයුතු සාර්ථක වන අතර රැකියා ස්ථාන මාරු හා නව රැකියා සඳහාද අවස්ථා උදාවනු ඇත.
ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට එතරම් සාර්ථක ප්‍රතිඵල උදා නොවනු ඇත. මුදල් ණයට දීමේදී පරෙස්සම් විය යුතු අතර, ඔබ ඉල්ලා ඇති ණය මුදලක් වසර මැදදී ලැඛෙනු ඇත. ලොතරැයි ලාභ හා භූමි ලාභ යම් පමණකට ඉටුවන වසරකි. තැළීම්, සීරීම්, මානසික පීඩා, සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, ඇළ දොළ ගංගාවලදී සිදුවන අනතුරු තත්ත්ව හා රථවාහන අනතුරු තත්ත්ව ඇතිවිය හැකිය. ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතු වසරකි. උෂ්ණාධික රෝගාබාධ මෙන්ම සෙම් ආශ්රිත රෝග, තුනටියේ හා අතපයවල ආබාධ, ස්නායු ආබාධ, තුවාල වැලඳීමේ අවදානමක් වසරේ මුල් මාස 06 තුළ පවතී. පවතින රෝග සුවවීමට යම් කාලයක් ගත වන වසරකි.
වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශි‍්‍රතව යම් යම් ගැටලු මතුවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ආදායම් තත්ත්වය මෙම වසර පුරාවට මධ්‍යස්ථ මට්ටමක පවතී.
වැය පක්ෂය ඉහළ යන අවස්ථා උදාවනු ඇත. නව ව්‍යාපාර ආරම්භ කිරීමට වසරේ මුල් මාස 06 තුළ සුබදායක වනු ඇත. මෙම වසර ඔබගේ නෑදෑ හිතවතුන් ඔබට වඩාත් සමීප වන වසරකි. වන්දනා ගමන් මෙන්ම විදේශ සංචාරද වසරේ මුල් මාස 07 තුළ හිමිවනු ඇත. වසරේ මුල් මාස 06යෙන් පසුව විවාහ කටයුතු සඳහා අවස්ථාවන් උදාවනු ඇත. මැණික් ව්‍යාපාර හෝ භූමිය ආශ්රිත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප්‍රතිඵල උදාකරනු ඇත. රෙදි කර්මාන්තවල යෙදෙන මේෂ ලග්න හිමියන්ට සුබදායක නැත.
වසරම සුබදාය
වීමටත් පවතින
ග්‍රහ අපල සමනය වීමටත්
පුර පක්ෂයේ අඟහරුවාදා දින 08ක් සවස 8 - 9 අතර හෝ උදෑසන 6 - 7 අතර කාලය තුළ රතු නෙලුම් මල් සමඟ බෝධි පූජා පවත්වා කතරගම දෙවියන් ප්‍රධාන තම ඉෂ්ට දෙවියන්ට පින් අනුමෝදන් කර පවතින නවග්‍රහ අපල සමනය වේවායි ප්‍රාර්ථනා කරන්න.